2026.07.27

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
පසුගිය වකවානුව තුළ රටට බලපෑ හදිසි ආපදා තත්ත්වයන් හා බලශක්ති අර්බුදය හේතුවෙන් ජාතික සුපිළිවන් සතිය සඳහා සැලසුම් කර තිබූ වැඩසටහන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපහසු වුවද එම අත්දැකීම් පාදක කර ගනිමින් වඩාත් තීරණාත්මක ප්‍රායෝගික සහ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි “ සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ” උදෙසා ජාතික සුපිළිපන් සතිය 2026 ජූලි 27 වන දින සිට ජූලි 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියෙහි සඳහන් කර තිබුණි.
ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශය අද දින එනම් 2026.07.27 වන දින නිළධාරීන් සියලූම දෙනා එක්ව වැඩසටහනක් පෙ. ව 9.00 ට සංවිධානය කර තිබුණි. අතිරේක ලේකම් ( පාලන ) ,අතිරේක ලේකම් ( ව්‍යාපෘති පිරිස් හා ප්‍රගති කළමනාකරණ ), අධ්‍යක්ෂ ජනරාල් ( ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ) ,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( ප්‍රවාහන), ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( පාලන 11) ,සහකාර අධ්‍යක්ෂක ( ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ) සහ පරිපාලන නිළධාරී යන මාණ්ඩලික නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සමන්විත විය. සුපිළිවන් දිවුරුම/ ප්‍රතිඥාව සියලූම දෙනා එක්ව කියවීමෙන් අනතුරුව එච්. ජී. ජේ. පී විජයසිරිවර්ධන අතිරේක ලේකම් ( පාලන ) සහ එච්. පී සුමනසේකර අතිරේක ලේකම් ( ව්‍යාපෘති පිරිස් හා ප්‍රගති කළමනාකරණ ) විසින් මේ සම්බන්ධයෙන් සභාව අමතා හරවත් සහ වැදගත් දේශනයක් පවත්වන ලදී.
තවද ජාවත්ත පරිශ්‍රය තුළද සුපිළිපන් වැඩසටහන පැවැත්වූ අතර අතිරේක ලේකම් ( ආයතන, නීති හා විමර්ශන ), අධ්‍යක්ෂ ජනරාල් ( කෘෂිකර්ම ), සියලූම ගණකාධිකාරිවරුන්, සැලසුම් අංශයේ නිළධාරීන් එක්ව සුපිළිවන් දිවුරුම/ ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව මෙම උත්සවය සාර්ථකව අවසන් විය.