2026.07.02
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) මහමාන්කඩවල වැව් බැම්ම අසලදී ආරම්භ විය. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20කි.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අදහස් පළ කළේය.
“අපේ රටේ ගොවි ජනතාව ගැන යමක් කියන්න ඕනේ. මෙතන සවි කරලා තියෙන එක පුවරුවකවත් අහවලා විසින් විවෘත කරන ලදී කියලා නැහැ. අදාළ වැඩේ ගැන විතරයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් පසුගිය ආණ්ඩුවල එහෙම නැහැ. ඔක්කොටම කලින් ගහගන්නේ විවෘත කරපු කෙනාගේ නම. හේතුව ඔවුන් ජනතාවාදී නොවීම.
පසුගිය දිනවල රටේ ගොවි ජනතාවගේ උද්ඝෝෂණ කිහිපයක් තිබුණා. ඇත්තටම ඒවා ගොවි ජනතාවගේ නෙවෙයි. බංකොලොත් විපක්ෂයේ. ජනතා ද්‍රෝහීන් සමඟ මිතුරුකම් පවත්වන ගොවි ජනතාව ගැන කණගාටුයි. දැන් විපක්ෂයක් නැති නිසා විපක්ෂයේ කාර්යභාරය තමන් කරන්නම් කියලා භාරගත්ත චැනල් කිහිපයක් තියෙනවා. ඒ නිසා ඒ චැනල් දෙක කල්පනා කරනවා විපක්ෂය නැති අඩුව අපිවත් කරන්න ඕනේ කියලා. මෙතන තියෙනවා. අනිත් චැනල් අඩුපාඩු වගේම ධනාත්මක දේවල් කතා කරනවා. විපක්ෂයේ බංකොලොත්භාවය මැනවින් පේනවා චැනල් දෙකක් විපක්ෂය වෙන්න යන නිසා. ඔය කියන විපක්ෂය බලයට එන්නේ නැහැ. අපි එන්න දෙන්න නැහැ. ජනතාවගේ පොරොන්දු අපි ඔක්කොම ඉෂ්ට කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඇති තරම් මුදල් තියෙනවා.
වී මිල ගැන යමක් කියන්න ඕනේ. මේ රටේ ජනතාවගේ වැඩිම මුදලක් වියදම් කරන්නේ ගොවි ජනතාවට කියලා අමතක කරන්න එපා. ගොවි ජනතාව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරනවා. රට ගිහින් සල්ලි එවන මිනිස්සුත් ගොවියන්ට ගෙවනවා. බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන. තේ වවන කුඩා තේ වතු හිමියොත් ප්‍රධානයි. පිටරටට ගම්මිරිස් යවන කෙනාත් ප්‍රධානයි.
අපේ රටේ හාල්වලට විදේශ වෙළඳපොළේ ඉල්ලුමක් නැහැ. වී ටික වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරපු වෙලාවේ දෙන්න. ඊට වඩා මිල වැඩි වෙනකන් තියන් ඉන්න එපා. එතකොට මේ පාර වුණු දේ වෙනවා. වී මිල උච්චාවචනය වෙන එක ගැටළුවක්. අපි උත්සහ කරනවා වී මිල ස්ථාවරව තියාගන්න. පිරිවැය වැඩිවෙනකොට නිෂ්පාදන වියදම වැඩිවෙනකොට මිල ඉහළ යා යුතුයි. අපි ඒක වෙනස් කරනවා. වී මිල පුළුවන් තරම් ස්ථාවරව තියාගෙන ඒ නිෂ්පාදනයට යන පිරිවැයට සහන දෙන්න.
අපි ලොකේ යුද්ධයක් තිබුණට කිසි කර්මාන්තයක් බිඳ වැටෙන්න දුන්නේ නැහැ. තෙල් හිඟයක් ඇතිවෙන්න දුන්නේ නැහැ. අපේ පෞද්ගලික පොහොර සමාගම් රජයට ලොකු සේවයක් කළා. එයාලා ළඟ තිබුණ පොහොර ටික රජයට දුන්නා, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවියාට බෙදන්න. හැමෝම කියනවනේ පෞද්ගලික ආයතන ගසා කන්නමයි ඉන්නේ කියලා. පොහොර මිලත් ඉදිරියේදී අඩුවෙයි. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි ජනතාව මීට වඩා පොදු ජනතාව ගැන හිතයි කියලා.”
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.