2025-11-21
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගලෙන්බිදුණුවැව අලුත්දිවුල් වැව නව සොරොව්ව, වාන සහ වැව් බැම්ම වැඩ නිම කර, ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින අලුත්දිවුල් වැව පරිශ්‍රයේදී පැවැත්විණ.
අලුත්දිවුල් වැව පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 248කි. අලුත්දිවුල් වැව පිළිසකර කිරීමෙන් අක්කර 2327ක් වගා කළ හැකි අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1135කි.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“ වාරි මහිම අපේ උරුමය කියලා වැඩසටහනක් ආරම්භ කරලා පළමුවෙන්ම පටන් ගත්ත වැඩේ තමයි මේක. මම අමාත්‍යවරයෙක් වෙලා වාරි කර්මාන්තයේ මුලින්ම මුල් ගල තිබ්බ වැව තමයි මේ වැව. මාස 5ක් වැනි කෙටි කාලයකින් වැව සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලා විවෘත කිරීම අප කාගේත් සතුටට හේතුවක්. අපේ රටේ රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැහැ කියලා මතයක් තිබුණා. නමුත් රාජ්‍ය සේවය කාර්යක්ෂමව වැඩ කරන බවට ඔප්පු කිරීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරලා තියෙනවා. ඒ වගේම රජයේ කර්මාන්ත ශාලාවත් මේ කටයුත්තට මැදිහත් වෙලා සහයෝගය ලබා දුන්නා.
වැව්, ඇළවේලි කොයිතරම් හැදුවත් අවසානයේදී ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නැත්නම් ගොවියෝ වගාවෙන් ක්‍රමානුකූලව ඉවත් වෙලා යනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඇවිල්ලා කරපු ප්‍රධානම වැඩක් තමයි, ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් දෙන්න ඕනමයි කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත එක. ඒ අනුව අපි ඉස්සෙල්ලම අත තිබ්බේ වී වගාවට. වී කිලෝවකට සාධාරණ මිලක් අපි ලබා දිය යුතුයි. 2024/25 මහ කන්නයෙදි අපේ රටේ වී ගොවියන්ගේ ආර්ථිකය හොඳයි. වී මිලදි ගන්න ක්‍රියාවලිය දුර්වල වෙලා තිබුණා. අපි ඒකටත් විසඳුමක් දුන්නා. වී අලෙවි මණ්ඩලය අලුත්වැඩියා කරලා අරගෙන වී මිලදි ගැනීම ආරම්භ කළා.
අපි බලයට පත්වෙද්දි වී අලෙවි මණ්ඩලයට තිබුනේ එක ලොරියයි. ඒකත් තිබුණේ කොටඋඩ. අපි නාඩු ගත්තේ රුපියල් 120ට. ඒ නිසා ඒ ගාණට වඩා අඩුවෙන් වී මිලදී ගත්තේ නැහැ. මේ යල කන්නයෙදිත් වී ගොවියාට පාඩුවට වී විකුණන්න වුණේ නැහැ. මෙවර වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක් වී අලෙවි මණ්ඩලය මිලදී ගත්තා. වැඩි මිලකට හාල් මිල තීරණය කරන්න ගත්තොත් අපි ගබඩා කරගත් වී කොටලා වෙළඳපොළට දානවා. ඒ පාරිභෝගිකයාව බේර ගන්න. හැබැයි වීවලට විතරයි තවම අපිට එහෙම කරන්න පුළුවන් වුණේ.
මුළු සත්ව නිෂ්පාදන කර්මාන්තයම අද රඳා පැවතිලා තියෙන්නේ බඩඉරිඟු නිෂ්පාදනය මත. අපේ ජනතාවට ප්‍රෝටීන් ටිකක් ලබාදෙන ප්‍රධාන කර්මාන්ත ගණනාවක්ම පවතින්නේ බඩඉරිඟු නිෂ්පාදනය මත. කුකුළු මස් නිෂ්පාදනයෙන් දැන් අපේ රට ස්වයංපෝෂිතයි. ඒ නිසා විදේශවලට කුකුළු මස් අපනයනය කිරීමේ තැනට රට ගෙනල්ලා තියෙන්නේ. අපේ රටේ කුරුළු උණ නැති නිසා අපට විශේෂ වාසියක් තියෙනවා.
බඩඉරිඟුවලට අපි තවම වීවලට වගේ මිලක් නියම කරලා නැහැ. බඩඉරිඟුවලටත් අපි වීවලට වගේම අවම මිලක් තීරණය කරනවා. හැබැයි අපට තවම බඩඉරිඟු මිලදි ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට ආයතනයකුත් නැහැ. ඒ නිසා අපි බලනවා සතොස සම්බන්ධ කරගෙන ප්‍රමිතිගත බඩඉරිඟු ප්‍රකාශයට පත්කරපු අවම මිලක් යටතේ මිලදී ගැනීමට වැඩසටහනක් සකස් කරන්න. ඒ වගේම අල, ලූනුවලටත් අවම මිලක් දීලා යම් ප්‍රමාණයක් මිලදී ගන්නත් කටයුතු කරනවා. ගොවියාගේ පිරිවැය තීරණය කරලා ඒක ගොවියාට ලබාදෙන ක්‍රමය හදලා තමයි පාරිභෝගිකයාටත්, ගබඩාකරුවාටත්, වෙළෙන්දාටත් උවමනා පංගුව තීරණය කරන්නේ.
අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ලබන මාසේ විශ්‍රාම යනවා. එතුමාටත් උවමනාවක් තිබුණා යන්න කලින් මේ වැඩේ ඉවරකරලා යන්න. ජනතාවාදී ආණ්ඩුවක් ගෙනාවට පස්සේ ගොවියාට ඓතිහාසිකව වෙච්ච අසාධාරණය අපි විසඳන්නේ නැත්නම් අපේ ඇමතිකම්වලින් වැඩක් නැහැ. තව කන්නයක් දෙකක් යද්දි අපි ගොවියන්ට තියෙන ප්‍රශ්න විසඳනවා.
දැන් මෙතන වැව විනාශ වෙන්න ගියා. අපි විනාශය වළක්වා ගත්තා. රට විනාශ වෙන්න ගත්තා. හොරකම, නාස්තිය, අපරාධ, කුඩු ජාවාරම කෙළවරක් නැහැ. විනාශ වෙන්න ගිය රටේ විනාශය වළක්වා ගත්තා. ලංකා ඉතිහාසයේ මැතිවරණයකින් පස්සේ විරුද්ධ පාක්ෂිකයෙකුට ඇඟිලි තුඩගින් තට්ටුවක් දාපු නැති මැතිවරණ ජයග්‍රහණය තමයි මේක. සියලු පුරවැසියන් එකතු කරගෙන මේ රට ගොඩනඟන්න ඕන කියන වටපිටාව හැදුවේ මේ පරටේ අලුත් දේශපාලන සංස්කෘතිය. ඊළඟට අපේ රටේ ඔඩු දුවපු ප්‍රශ්නයක් ජාතිවාදය. අපි ජාතිවාදයට හිස ඔසවන්න දුන්නේ නැහැ. තව පොඩ්ඩෙන් ඔය ජාතිවාදී රැළ ත්‍රිකුණාමලයෙන් මතුවෙනවා. අධිකරණයයි, රාජ්‍ය නිලධාරීනුයි එකතුවෙලා ඒක සමථයකට පත් කළා. අපි කිසිවිටක ජාතිවාදයට හිස ඔසවන්න දෙන්නේ නැහැ. සමහර පක්ෂ ජාතිවාදය නිර්මාණය කළා.
අපි වැව හදලා, වී කිලෝ එකට රුපියල් 120ක් අරගත්තා කියලා අපේ රට හැදෙන්නේ නැහැ. පක්ෂ භේදයක් නැතුව, රකින්න යන්නේ නැතුව පොලිසියට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා කුඩු ජාවාරමට එරෙහිව කටයුතු කරන්න. කලින් එහෙම තිබුණේ නැහැ. තමන්ගේ එකාව අල්ලගත්තාම ගිහින් බදා ගන්නවා. ලංකාවේ පළවෙනි වතාවට බලයට ආපු ආණ්ඩුවක් හොරකම වංචාව දූෂණය සියයට සියයක් නවත්තලා තියෙනවා.”
මෙම අවස්ථාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී විය.