fo
2025-10-09
වෘත්තීය ගැටළුක් පිළිබඳව සාකච්ඡා කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවන් පිරිසක් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හමුවෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවයේ නියුතු මිනින්දෝරුවන් පිරිසක් ඔවුන්ව රජයේ සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (08) දින කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යා කේ.ඩී. ලාල්කාන්ත මහතාව හමුවූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේදීය. එහිදී ඔවුන්ව රජයේ සේවයට ස්ථීරව බඳවා ගැනීමට යම් බාධාවක් පවතින බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. 2022 වර්ෂයේදී ‘වාරි සෞභාග්‍ය’ ව්‍යාපෘතිය වෙනුවෙන් පුවත්පත් දැන්වීමක් මඟින් මිනින්දෝරුවන් ලෙස තාවකාලික පදනමින් බඳවා ගත් මිනින්දෝරුවන් මෙතෙක් ස්ථීර කර නැත. 2022 වසරේ සිට රුපියල් 20,000ක මාසික දීමනාවක් ලබමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය මිනින්දොරු කාර්යාලවල රාජකාරියේ යොදවා තිබුණි.
ව්‍යාපෘතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවුණු පසුබිමක, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඔවුන්ට අවශ්‍ය මැනුම් උපකරණ, මැනුම් සහායකවරුන් ලබා දෙමින් අවශ්‍ය පහසුකම් ලබා දෙන ලදී. මිනින්දෝරුව සම්බන්ධ උපාධියක් හිමි තමන්ට වසර දෙකක් පුරාවට ක්ෂේත්රගත රාජකාරී ඉටු කරමින් සේවය සැපයුව ද මෙතෙක් රාජ්‍ය සේවය තුළ ස්ථීර පත්වීම් ලබා දී නැත. මේ නිසා තමන් විශාල ගැටළුවකට පත්ව ඇති බව මෙහිදී ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා මෙම ගැටළුව කඩිනමින් විසඳා ගැනීමට මැදිහත් වන ලෙස අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නේය. අමාත්‍යවරයා විසින් විශේෂ අවසරයකින් හෝ මෙම මිනින්දෝරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි, සේවයට ස්ථීරව බඳවා ගැනීමට අදාළව කටයුතු සිදු කිරීමේ අවකාශය සොයා බැලීම සඳහා මෙම ගැටළුව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමාට යොමු කරන ලදී.
මෙම අවස්ථාවට අගතියට පත් මිනින්දොරුවන්, ජාතික මැනුම් සභාවේ නිලධාරීන් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.