fo

දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන වැඩසටහන්

දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කළ සංවර්ධන වැඩසටහන් සඳහා කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී වෙයි.

දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කළ සංවර්ධන වැඩසටහන් රැසක් පසුගියදා ආරම්භ කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී තුන්හිරිය වැවේ ජලජ පැළෑටි ඉවත් කිරීමේ වැඩසටහන සඳහා වැය කරන මුදල රුපියල් 4,210,900 කි. තුන්හිරිය වැවෙන් කුඹුරු අක්කර 392ක් පෝෂණය වන අතර, එහි සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් ගණන 1200කි. කුඤ්ඤංබණ්ඩා වැව සංවර්ධනය කිරීම යටතේ වැව් බැම්ම සහ පිටවාන ප්‍රතිසංස්කරණ කරන අතර, සොරොව්ව ඉදි කිරීම ද සිදු කරනු ලබයි. මේ යටතේ අමතර කුඹුරු අක්කර 10ක් වගා කිරීමේ හැකියාව ලැබෙනු ඇත. රුපියල් 67,300,580 ක් ආයෝජනය කරමින් වන අලි විකර්ෂක බෝග වැටි සහිත මිශ්‍ර බෝග කජු වගා ව්‍යාපෘතිය කවුඩුපැලැස්ස නාලන්ද වතුයායේදී දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“වැවයි - දාගැබයි - ගමයි - පන්සලයි කියන සංකලනයෙන් තමයි අපට සශ්‍රීක ගමක් ඇතිවෙලා තියෙන්නේ. අනුරාධපුර, පොළොන්නරුව වගේ වියළි කලාපවල වැව් නැත්නම් ජීවිතයක් නැහැ. ලංකාවේ වැව් හෑරුවේ නැහැ. වැව් බැන්දා. වැව් බැදි රාජ්‍යතනය කියන්නේ ඒකයි. වැව හැම තිස්සේම තිබුණේ ගමට වඩා උඩින්. වගාවට වඩා උඩින්. අපි ලොකු උත්සාහයක් ගනිමින් සිටිනවා වැව් ටික ප්‍රතිසංස්කරණ ය කරන්න. වාරි මහිම - අපේ උරුම වැඩසටහන යටතේ වැව් පිළිසකර කරනවා.

කෘෂිකර්මාන්තයට වනසත්ව හානිය බරපතල ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ වනජීවී කලමනාකරණය කියන මාතෘකාවක් නැහැ. ඒකට ආයතනයක් හෝ වගකිව යුතු ආයතනයක් නැහැ. වනජීවී දෙපාර්තමේන්තුව ඉන්නේ සත්තු බලාගන්න. අපට අවශ්‍ය වෙලා තියෙනවා, වනජීවී කලමනාකරණය කියන විෂයට අදාළ ආයතනයක් සහ වැඩපිළිවෙලක්. වනජීවීන් කලමනාකරණය කරගන්න නම් මුලින්ම වනජීවීන් ගණන් කරගෙන ඉන්න ඕනේ. ප්‍රමාණය දැන ගන්න ඕනේ. අපි පසුගිය දිනවල වනසතුන් ගණනය කිරීමක් සිදු කළා. ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනවා.

නකල්ස් ව්‍යාපෘතිය යටතේ වියදම් කරන්න මුදල් තියෙනවා. අපිට අභියෝගයක් තියෙනවා ඒ මුදල් ඵලදායී ලෙස ඉක්මනින් වියදම් කිරීම සම්බන්ධයෙන්. ඒ මුදල් වියදම් නොකළොත් ව්‍යාපෘතිය අසාර්ථකයි. අපි ඉදිරියේදී මෙම ව්‍යාපෘතියවල ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනයන්න කටයුතු කරමින් සිටිනවා.

අපට ගැටළුවක් තියෙනවා. ඒ තමයි වැවක් මේ තරම් විනාශ වෙනකන් දෙපාර්තමේන්තු මොනවද කළේ කියලා. ඒ වගේම ගොවි සංවිධාන, රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන මොනවද කළේ කියලා. වැව වැහෙනකන්ම බලන් ඉඳලා ඇමතිතුමා මේක සුද්ද කරලා දෙන්න කියලා කියනවා. රටක් හදන්න පුළුවන් ද එහෙම ? හැමෝටම මේවා ගැන උවමනාවක් තියෙන්න ඕනේ. මේ හැමෝගෙම උවමනාවල් එකතු වුණොත් තමයි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපේ වැඩසටහන එකමිටට - ගොවි බිමට කියලා නම් කරලා තියෙන්නේ. දේශපාලන පක්ෂ වැඩක් නැහැ. වැවේ පාසි ටික හැදෙනකොට එකතුවෙලා ඒ ටික සුද්ද කරන්න ඕනේ. මේ රට කඩා වැටිලා තියෙන්නේ දේශපාලඥයෝ මූලික වුණු රාජ්‍ය නිලධාරීන්, පුරවැසියෝ, සංවිධාන මේ හැමෝම නිසයි. අපි හැමෝම එකතුවෙලා මේ රට හදාගමු.