2026.07.02
දකුණු පළාතේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දෙමින්, වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉෂ්ට කරමින් ඓතිහාසික 'ඉල්වත්ත අමුණ' ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ඊයේ (අගෝස්තු 02) ආරම්භවිය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එච්.එම්. අබේවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, ඇතුළු දේශපාලන අධිකාරියත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී මුහන්දිරම්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරාධිතයන් රැසක් සහභාගී විය.
දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3 ක (රුපියල් කෝටි 60 කට ආසන්න) පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. මාස 20 ක කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000 කට අධික ජනගහනයට සහ 8,000 කට අධික ගොවි ජනතාවට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇත.
1952 වර්ෂයේදී ආරම්භ කරන ලද ඓතිහාසික ඉල්වත්ත අමුණ යටතේ වැලිගම ප්‍රදේශයේ බොරාල, පලල්ල, ජඹුරගොඩ බටහිර, ජඹුරගොඩ නැගෙනහිර, වැලිපිටිය, පාදිලි කොක්මාදුව, සහබන්දු කොක්මාදුව, නලවන යන වසම් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ හොරදුගොඩ, ඇල්ලලගොඩ සහ කෝදාගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද පෝෂණය වේ. අක්කර 3,000 කට අධික මඩ කුඹුරු යායක් සහ කොරටු අක්කර 62 ක් වගා කරන ගොවි පවුල් 2,000 කට ආසන්න ප්‍රමාණයකට මෙයින් සේවය සැලසේ.
1987 දී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු, 2006/2007 කාලසීමාවේදී නඩත්තු සේවකයන් විශ්‍රාම යාම සහ 2017 වසරේ පැවැති ගංවතුර ව්‍යසනයන් හමුවේ මෙම අමුණ දැඩි ලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබිණි.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා මෙසේ අදහස් ඉදිරිපත් කලේය.
"මට මේ වැඩේ තියෙන වැදගත්කම ගැන සෑහෙන ඒත්තු ගැන්වීමක් කළාට පස්සේ තමයි, මම ඒකට එන්න තීරණය කළේ. ආවට පස්සේ මට තේරුණා ආවේ නැත්නම් ඒක හරි අපරාධයක් කියලා. ආපු එක ගැන මම අතිවිශාල සතුටකින් ඉන්නේ. මම මෙතනදි දැකපු දෙයක් තමයි පළාත් රාජ්‍ය නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව. ඒක මම කොහෙවත් දැක්කේ නැහැ. ආණ්ඩුවලට පුළුවන් ප්‍රතිපත්ති තීරණ ගන්න. පළාත් ආණ්ඩුවක් නැතුව තියෙද්දි ආණ්ඩුකාරතුමාටයි ප්‍රධාන ලේකම්ටයි ලොකු වගකීමක් පැවරෙනවා. මෙතනදි පළාත් රාජ්‍ය සේවය මේ කටයුත්ත විශාල කැපවීමකින් සිදු කරලා තියෙනවා. ඒ වගේම දේශපාලන අධිකාරියයි, රාජ්‍ය සේවයයි, ප්‍රදේශවාසීනුයි එකම වැඩක් වෙනුවෙන් කොච්චරදුරට ඉලක්ක සහගතව මැදිහත් වෙලාද කියලා වැටහෙනවා. මම මෙතන තවත් විශේෂත්වයක් දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෑහෙන ඇගයීමකට ලක්වුණා.
මේ කුඹුරු යායවල් ටික සාර්ථක කරගන්න නම්, මේ ඔක්කොටම කලින් පොළොවේ පරීක්ෂාවක් කරගන්න ඕනේ. නැවත වගා කිරීමට කලින් අනිවාර්යෙන් එය පරීක්ෂා කරන්න. මේක වී වගාවට සුදුසු බිමක් කර ගැනීමේ අභියෝගය තියෙනවා. වී වලට රුපියල් 120 මදි කියන්නේ අස්වැන්න අඩු අයයි. අපි බලන්න ඕනේ වී අස්වැන්න වැඩි කරන විදිහ. පරණ විදිහටම වී බුසල් තිහක් හතළිහක් ගන්න නම් බලාපොරොත්තු වෙන්නේ, ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ.
දැන් අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන තියෙනවා. දැන් අපි ඉන්නෙ පරිවර්තනීය යුගයක. පරණ හොඳ දේ සහ අලුත් හොඳ දේ දෙකම මේ තුළ තියෙනවා. බැනුම් අහන්න සලස්වන ප්‍රධාන නාලිකා දෙකක් තියෙනවා. නම් කියන්නේ නැහැ. එයාලා මේ රටේ වෙන සාධනීය ධනාත්මක දේ පේන්නේ නැති අන්ධයෝ ටිකක්.
දේශපාලනඥයන්ට වරප්‍රසාද ලබා නොදී ජනතාවට හැම දෙයක්ම දෙන ආණ්ඩු මින් පෙර තිබිලා නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා.
දේශපාලන සංස්කෘතිය වෙනස් කරගත්තට ආර්ථිකය සමාජයීය සංස්කෘතිය වෙනස් කරගන්න සෑහෙන උත්සාහයක් ගන්න වෙනවා. ආර්ථික පරිවර්තනයේදී රජයයි ආණ්ඩුවයි එකට දුවන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බැහැ. අපේ ආණ්ඩුවට යන්න පුළුවන් පැයට කිලෝමීටර දෙසීයක වේගයෙන්. හැබැයි රජයට යන්න පුළුවන් පැයට කිලෝමීටර හැටක වේගයෙන්. සමහර තැන්වල සංවර්ධනය වෙන්නේ මේ විදිහට. අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළාට අවශ්‍ය සංවර්ධන කටයුතු ඇදගෙන යන්න රාජ්‍ය සේවය තීරණාත්මකයි.
රාජසේවය බඳවා ගැනීම් කාලෙකින් කරලා නැහැ. නිලධාරීන් අඩුයි. පහසුකම් අඩුයි. රාජ්‍ය සේවය ශක්තිමත් මදි. ඒ නිසා තමයි ඉල්ලන්න කලින් අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ. රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කළේ. පසුගිය කාලයේ ස්ථිර නැති අය ස්ථිර කරමින් යනවා. මෙවර අයවැයෙන් නැවත වැටුප් වැඩි කරනවා.
අපිට තව ලොකු මැදිහත්වීම් කරන්න වෙනවා. මේ පටන් ගත්තා විතරයි. රාජ්‍ය සේවයේ වෙනස්කම් කරන්න තියෙනවා. තවම මහජනතාව රාජ්‍ය සේවයට බනිනවා. පරණ දේශපාලනය නම් රටේ නැවත ඇතිවෙන්නේ නැහැ. ඒක තමයි රටේ වාසනාව. පරණ දේශපාලනයේ කැත සමහර නාලිකාවලින් එළියට එනවා. නැවත කුණු ගඳ ගහන දේශපාලනයක් ස්ථාපිත කිරීම තමයි මේ මාධ්‍යවල කාර්යය.
මාධ්‍ය ඒකකය