2026-01-16

හිමිකම ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ හිමිකම ජාතික වැඩසටහන මගින් මහවැලි හිමිකම් පත් 1000ක් මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත ලබාදීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී හිමිකම් පත් ලබා දෙන්නේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙතය. මෙය පියවරෙන් පියවර මහවැලි කලාප දහය පුරාම ක්‍රියාත්මක වීමට නියමිතය. අද දිනයේ හිමිකම් පත් ලබාගන්නා ගොවි ජනතාවට තම ඉඩමේ අයිතිය තහවුරු කිරීමට මේතාක් කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැත. මේ සඳහා මූලිකත්වය ගන්නේ මහවැලි අධිකාරියයි.
මෙම අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

"අපිට රටේ හැම පැත්තකම පරිවර්තනයක් කරන්න වෙලා තියෙනවා. කදු මුදුන්වල ඉන්න ජනතාව පහළට ගේන්න වෙලා තියෙනවා. ගංගා ඇළ දොළ භූමිවලට අයත් ප්‍රදේශවල ඉන්න අය අයින් කරන්න වෙලා තියෙනවා. එතනදි මහවැලි ඉඩම්වල පදිංචි වෙන්න ආපු ඔබ ඔබේ උරුමයන් අත ඇරලා මේ ප්‍රදේශයට ආපු අය. නැත්නම් මහවැලි ව්‍යාපාරයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ශ්‍රේෂ්ඨ ජාතික කර්තව්‍යක් වෙනුවෙන් තමන්ගේ පුරාණ ගම්බිම් අත්හැරලා මේ අලුත් ප්‍රදේශයකට ආවා කියන්නේ ඒක මහා පුණ්‍යකර්මයක්.

අපි පරිවර්තනයක් කරනකොට ජනතාවට හිතෙන්න ඕනේ ඒ පරණ දෙයට වඩා අලුත් දෙයින් තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන බව. අපිට දැන් උවමනාව තියෙනවා මහවැලි කලාපයේ ජනතාවගේ නොවිසිදුණු ගැටලු විසඳන්න.

අපි දැන් ඉන්නේ පරිවර්තනය යුගයක. මේ මාසෙ 29 වෙනිදා එක වසර දරුවන්ට නව ආකාරයක අධ්‍යාපන පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. තියෙන දැනුම රැකගෙන ඉදිරියට යන්න අවශ්‍ය නිසා අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.

හය වසර දරුවන්ටත් මේ 29 වැනිදා නව අධ්‍යාපන ක්‍රමය ආරම්භ කරන්න තිබුණා. නමුත් දෙමාපියෝ තුළ පොඩි හෝ දෙගෙඩියාවක් තියාගෙන මේක කරන්න බැහැ. ඒ අවිනිශ්චිතතාවයක් නැති කරලා දෙමව්පියන් එක්ක ඒ අවබෝධය හදාගෙන නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරනවා.

ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවි ජනතාවට පොහොර සහනාධාරය විදිහට තිබුණු රුපියල් 15000 රුපියල් 25000ක් කළා. ඒක ගොවියාට සහ කෘෂිකර්මාන්තයට විශාල ශක්තියක් වුණා. අපි පහුගිය අවුරුද්දේ රටේ ආහාර හිඟයක් නැති වෙන්න කළමනාකරණය කළා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ.

අපි කුඹුරුවල වගා කරන වී නොවන වෙනත් බෝග සඳහා රුපියල් 15000ක පොහොර සහනාධාරයක් ලබාදෙන්න කටයුතු කළා. ඒක ගොවියාගේ පැත්තෙන් ජයග්‍රහණයක්. අපි සහල් වලින් ස්වයංපෝෂිත වුණාට හිටපු ගමන් සමහර හාල් වර්ග හිඟ වෙනවා. මහවැලි සී කලාපයේ වැඩිපුර වගා කරන්නේ කීරී සම්බා. අපි කීරී සම්බා කිලෝ එකකට දුන්න මිල රුපියල් 132යි මේ දක්වා. මේ මාස් කන්නයේ කීරි සම්බා දෙන්න පුළුවන් අවම මිල රුපියල් 140යි. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා කීරි සම්බා ටිකක් වැඩියෙන් රටේ වගා කරන්න. වගාව සම්බන්ධ කාරණාවේදී අපි ඉස්සෙල්ලාම හිතන්නේ ගොවියාට සාධාරණ මිලක් ලබා දීලා, ඊට පස්සේ තමයි අනිත් අයගේ ප්‍රශ්න විසඳන්නේ.

මහවැලි කලාපයේ සංචාරක කර්මාන්තය කරන්න මෙතෙක් බලතල තිබුණේ නැහැ. දැන් අපි ඒ අවසරයත් අරන් දුන්නා. ඔබට අද ඉඩම් හිමිකම වෙනුවෙන් බලපත්‍රය ලබාදීමට හැකිවීමට සතුටක්. මේකට මැදිහත්වීමට ලැබීම සම්බන්ධයෙන් ඔබට වඩා සතුටක් අපට තියෙනවා. අපිට උවමනා ජනතාව සතුටින් ඉන්න රටක්."

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.