2025-12-17
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ දින (17) එම ප්‍රදේශයට පැමිණියේය.
මහවැලි ගඟේ ආරක්ෂණ බැම්ම කැඩී යාම හේතුවෙන් කුඹුරු අක්කර 9000ක් පමණ හානියට පත්ව ඇත. ගොවීන්ගේ ඉල්ලීම වූයේ ආරක්ෂණ බැම්ම අඩි පහක් පමණ උස්කර ඉදිකර දින ලෙසයි. මෙම ආරක්ෂණ බැම්ම ඉදිකිරීමේදී වනසතුන්ටත් යා හැකි පරිදි යම් ස්ථානයක් සකස් කිරීම යෝග්‍ය බව ද මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාවට එක් වෙමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා අදහස් පළ කළේය.
“ අද දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට පැමිණියා. විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ පසුගිය කාලසීමාවේ සිදුවුණු දිත්වා සුළි කුණාටුවත් එක්කම නිර්මාණය වුණු හානි විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක එතුමා නිරත වී සිටිනවා. අපි දන්නවා මහා වාරිමාර්ග, සුළුවාරිමාර්ග වගේම මහවැලි අධිකාරියට අයත් වැව්වලට විශාල හානියක් සිදුවෙලා තියෙනවා. දැනටමත් මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේම පළාත් සභාවට අයත් පළාත් වාරිමාර්ග ඇතුළු ත්‍රිවිධ හමුදාව, ගොවි සංවිධාන, මහජනතාව එක්ක දැනටමත් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා.
මෙතනදී ජනතාව දිගින් දිගටම චෝදනාවක් විදිහට ඉදිරිපත් කළේ පසුගිය කාලසීමාව තුළ විවිධ අවස්ථාවලදී තැන් කිහිපයක් තෝරගෙන මේ තැන්වලට අදාළ මැදිහත්වීම් කරමින් මේ ආරක්ෂණ බැමි ප්‍රතිසංස්කරණය අදාළ සැලසුම් යළි සකස් කරමින් ඉතාමත් සුදුසු විදිහට හානි අවම කරන විදියට සකස් කරන්න කියලා ජනතාවගේ පැත්තෙන් බොහෝ ඉල්ලීම් ඇවිත් තිබුණා. නමුත් පසුගිය කාලවල සිදුවුණු යම් අක්‍රමිකතා හේතුවෙන් ඒ සියලු කටයුතුවලට අදාළ මැදිහත්වීම් කළේ නැහැ. දැනට අපි තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එළඹෙන ජනවාරි මාසයෙන් පස්සේ කාලගුණය යහපත් වීමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අලුත් සැලසුමකට මේක පටන් ගන්න.”
මෙහිදී ආරක්ෂණ බැම්ම ඉදි කිරීමේ කටයුතු කඩිනම් කර, ගොවිජනතාවගේ ගැටළුවලට වහා විසඳුම් ලබා දීම කෙරෙහි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ විශේෂ අවධානය යොමු විය.