2025-11-04
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ඉහළ කනියම ජල පාලන නිර්මිතය විවෘත කිරීමේ උත්සවය සහ කල්වෙට්ට කනියම පාලම සමඟ ජල පාලන නිර්මිතය විවෘත කිරීම ඊයේ (2) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නවගිරි ආරු ප්‍රදේශයේදී පැවැත්විණ.
මෙමඟින් අක්කර 500ක පමණ ප්‍රමාණයක් අමතරව වගා කිරීමට හැකිවන අතර, ගොවියන්ගේ විශේෂ ඉල්ලීමක් වූ කන්න තුනක් වගා කිරීමේ අවස්ථාව ද උදා වනු ඇත. කන්න දෙකක් වී වගාකොට තුන්වන කන්නයේ වෙනත් අතුරු බෝගයක් වගා කිරීමට මෙමඟින් අවස්ථාව උදා වේ. වසරක් වැනි කාලයක් තුළදී මෙය සාදා නිමකොට ජනතා අයිතියට පත් කිරීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට ජනතාවගේ විශාල ප්‍රසාදයක් මෙහිදී හිමි විය. ගොවියා දුප්පත්කමින් මුදවාලීමේ අරමුණ මුදුන්පත් කිරීම සඳහා මෙය එක් අවස්ථාවක් වනු ඇතැයි බොහෝදෙනාගේ අදහස විය. මිලියන 45ක මුදලක් යොදවා මෙය ඉතා සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අමාත්‍යතුමාගේ ප්‍රසාදය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හිමිවිය.
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“ජනතාවට ආහාර සැපයීමේ වගකීම තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. අපිට මේක හරියට කරගන්න බැරි වුණොත් කන්න බොන්න පිටරටින් ගේන්න වෙනවා. වසන්ත සමරසිංහ ඇමතිතුමා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැති. අපි දෙන්නවම මූලිකයෝ බවට පත් කරලා ජනාධිපතිතුමා අපේ ආයතනවල නිලධාරීන් එකට එකතු කරලා සභාවක් තියෙනවා. අපි ඒක සති දෙකකට සැරයක් රැස්වෙනවා. ඒ කමිටුවේ වගකීම තමයි ආහාර සුරක්ෂිතතාවය ඇති කරන එක. සහල්, එළවළු, කිරි, බිත්තර නිෂ්පාදනය ගැන අපි එහිදී කතා කරනවා. අපේ නිෂ්පාදනය මදි නම් අපි තීරණය කරනවා මේ දේවල් මේ ප්‍රමාණයකින් පිටරටින් ගෙන්විය යුතුයි කියලා. ඒ තීරණය අරගෙන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනවා.
මේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වී වගාව සිදු කෙරෙනවා. අපේ රටේ වී වගාවට යට කරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති. දැන් ඕන කරලා තියෙන්නේ අපේ කුඹුරුවල අස්වැන්න වැඩි කිරීම. ඒ සඳහා අපි අලුත් වැඩපිළිවෙලක් මේ මාස් කන්නනේ ආරම්භ කරලා තියෙනවා. අපිට දිගු කාලීන ඉලක්කයක් තියෙනවා. 2028 වෙනකොට අපේ රටේ කෑම බීම ටික සම්පූර්ණ කරගන්න. විශේෂයෙන් පිටරටින් සහල් ගෙන්වන එක නතර කරන්න. මේ දිනවල අපි එක්තරා සහල් වර්ගයක් පිටරටින් ගෙන්වනවා. හෝටල්වලට, උත්සව අවස්ථාවලට ඕන කරන කීරි සම්බා යම් ප්‍රමාණයක් පිටරටින් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව අපේ ගොවියො කීරි සම්බා වගා කරන ප්‍රමාණය මදිවීම. ඕන කරන කීරි සම්බා යම් ප්‍රමාණයක් පිටරටින් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. පුළුවන්නම් මේ ප්‍රදේශයේ කීරි සම්බා වැඩිපුර වගා කරන්න බලන්න. කීරී සම්බා අක්කරයකින් ගන්න පුලුවන් අස්වැන්න නාඩු වලට වඩා අඩුයි. එතැනයි ප්‍රශ්නෙ තියෙන්නේ. නමුත් ඒකට වැඩි මිලක් හම්බවෙනවා. අපේ නිලධාරීන් එක්ක එකතු වෙලා අවශ්‍යතාවය අනුව වගා කිරීම අත්‍යවශ්‍යයි. පුරුද්දට වගා කරලා දැන් හරියන්නේ නැහැ."
සමාජයක් විදිහට සතුටින් ජීවත් වෙන්න නම් අපි පැති කිහිපයක් හොඳින් හදාගන්න ඕනේ. එකක් අපේ රටේ දේශපාලනය. දැන් අපි ඒක කරගෙන යනවා. ලංකාවේ පළවෙනි පාරට හොරකම, දූෂණය, වංචාව, නාස්තිය නැති දේශපාලනයක් අපි ගොඩ නගලා තියෙනවා. ඊළඟට අපේ ආර්ථිකය අපි ආර්ථිකය වැටිලා තිබුණු තැන ඉඳන් කළමනාකරණය කරගෙන යනවා. අපි කියන්නේ නැහැ තවම ලොකු ආර්ථිකයක් ගොඩනගලා කියලා. තුන්වෙනි පැත්ත තමයි, සමාජය. මත්ද්‍රව්‍ය ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක්. සමාජය බිඳ වැටිලා තියෙන්නේ තියෙන්නේ. අපි කිසිම තැනකදී ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. දුටු තැන මර්දනය කරනවා. ආගම් වාදයට ඉඩ දෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය කියන්නේ අද වසංගතයක්. ඊළඟට සංස්කෘතික පැත්ත. මේ ටික අපි හදාගන්න උවමනයි.මේ වසර තුළ අපි ජනතාවට අවශ්‍ය දේවල් වලට වුවමනා පදනම දාලයි තියෙන්නේ.”
මෙම අවස්ථාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.